~~ සාසනමාමක ~~


ආගම හා දේශපාලනය යනු එකිනෙකට සම්බන්ද වූ අන්ත දෙකක්යැයි කීවොත් මා නිවැරදිය. පෙර කල බුදුන් වැඩ සිටි සමයේ පවා දේශපාලනයට ආගමික සම්බන්දයක් තිබුණු බවට පරිනිබ්බාණ සූත්‍රයේ සප්ත අපරිහානි ධර්ම හොදම නිදසුනකි. බුදු දහම රාජ්‍ය පාලනය පිළිබද නොයෙක් විට පැහැදිලි කිරීම් කර ඇත. නමුත් අද දවස වන විට බුදු දහමත් එහි ඇතුලත් රාජ්‍ය පාලනය පිලිබඳ දර්ශනයත් එලෙසම පැවතුනද යම් යම් කරුණු කරනා නම් සෑහෙන තරමකින් වෙනස් වී ඇත.බුදු දහම අපට කියාදෙන්නට සිටින භික්ෂුන් වහන්සේද දේශපාලනයට හේත්තු වී ඇත. ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ, අද සිටින්නේ බුදුන් සිටි සමයේ සිටින්නා වූ භික්ෂුව නොවීමය. පෙර කල පාලනයට උපදෙස් දුන් ඒ බුද්ධ පුත්‍රයන් අද පාලකයන්ගේ අතකොලු බවට පත් වී ඇත. 

මෙරටට හිතකර පාලකයන් බිහි කිරීමට එකල භික්ෂුන්ගේ දායකත්වය සුළුපටු නොවේ, දුටුගැමුණු තිස්ස රජුන් සමගි කරවීම, වළගම්බා රජුත් ඇමති මණ්ඩලයත් අතර මතබේද දුරු කිරීම එයින් වැදගත්ම අවස්ථා දෙකක් ලෙස දැක්විය හැක.එලෙසම එකල රජ දරුවන්ද ආගමික පැවැත්මට තම රාජ්‍යයේ උපරිම දායකත්වය ලබා දීම සිදු කලේ කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරවමය. එකල රජුන්ගේ පවා වැරැද්දට කහ සිව්රේ විරෝදය හිමි වුවත් අද තත්වය හාත්පසින්ම වෙනස්ය. පාලකයාගේ පාට පක්ෂ වලට බෙදී ඔවුන්ගේ ජඩ වැඩ විවේචනය කරනවා වෙනුවට අනුමත කරන්නා වූ තත්වයටක කහ සිවුර පත්වී ඇත. මාධ්‍ය ආයතනයක්, කැමරා සමගින් දේශපාලකයෙක් මහානායක හිමි හමුවෙයිනම් බොහෝ විට අපිට දිස් වන්නේ කොතරම් සමාජයේ පිරිහුණු දේශපාලකයෙක් වුවද නායක හාමුදුරුවරුන්ගේ positive comment ය. රූපවාහිනී ප්‍රවුර්ති විකාශයක හිමි නමක් දුටුවහොත් අපට පහසුවෙන්ම මහින්ද හෝ මයිත්‍රී පක්ෂ කියා වෙන් කල හැකි තත්වයකට අද දවස පත් වී ඇත. පාලකයා කවරෙකු වුවත් වැරද්දක් දුටු තැන එය පවසන්නා වූ හෙළ බුද්ධ පුතයන් වහන්සේ නමක් අපට දැකිය හැක්කේ කලාතුරකින් වීම අපෙත් රටෙත් අභාග්‍යයකි.

එදා සාසනයේ උපදෙස් මතින් පාලනය වූ රාජ්‍යයක අද මහානායක හිමිවරුන්ම රටට ජාතියට අබ ඇටයක තරම්වත් සේවයක් ලබා නොදුන් අයවලුන්ටම ගරු බුහුමන් ලබාදීමට තරම් කාරුණික වී ඇත, එය අනුමත කිරීමට තරම් තත්වයකටම අනෙකුත් භික්ෂුන්ද පත්වී ඇත. අවාසනාවන්තම කරුණ වන්නේ මෙලෙසින් කාරනා සිදු වෙයිනම් වසර පන්දහසක් පැවතෙන බුදු දහම පැවතීමට සිරි ලක් භූමියේ බිම් අගලක්වත් ඉතුරු වේවිදැයි යන සැකය මුළු මහත් ශ්‍රී ලාංකික ජනී ජනයාගේ  සිත් තුලම කිදා බැස තිබීමය. කරුණු කාරණා රටට හිතකර අයුරින් වෙනස් වීමට නම් මේ පින් බිමේ ආන්තරා වලින් එය ගලවගන්නට පෙරමුණ ගත්තා වූ, පැමිණි ආක්‍රමණ වළකන්නට, රජුන් තනන්නට මුල්වූ සඝ පරපුරක් යලිත් බිහිවී හඩ අවදි කල යුතුම කාලයක් එළඹ ඇත...............!

Comments